Skip to content

මරියා දේවමෑණියන්ද?

මරියා දේවමෑණියන්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 මරියා දෙවියන්ගේ මව කියලා බයිබලයේ උගන්වන්නේ නැහැ. මරියාට වඳින්න කියලවත් එයාට ගරුබුහුමන් දක්වන්න කියලවත් බයිබලයේ කියලා නැහැ. a මේ ගැන හිතන්න.

  •   තමන් දෙවියන්ගේ මව කියලා මරියා කවදාවත් කිව්වේ නැහැ. බයිබලයේ පැහැදිලිව සඳහන් වෙන්නේ මරියා බිහි කළේ දෙවියන්ව නෙමෙයි නමුත් “මහෝත්තම දෙවියන්ගේ පුත්‍රයාව” නැත්නම් “දෙවියන්ගේ පුත්‍රයාව” කියලයි.—ලූක් 1:32, 35.

  •   මරියා දෙවියන්ගේ මව කියලවත් එයාට ගරුබුහුමන් දක්වන්න කියලවත් යේසුස් කවදාවත් කිව්වේ නැහැ. යේසුස්ගේ මව වෙන්න ලැබුණ එක ගැන සඳහන් කරලා එක ස්ත්‍රියක් මරියාට විශේෂ අවධානයක් දුන්න වෙලාවේ යේසුස් ඒ ස්ත්‍රියව නිවැරදි කළේ මෙහෙමයි. “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවියන් පවසන දේ අසා එය පිළිපදින අයයි.”—ලූක් 11:27, 28.

  •   “දේවමෑණියන්” සහ “තියෝටොකොස්” යන යෙදුම් බයිබලයේ දකින්න නැහැ.

  •   බයිබලයේ “අහස් දේවතාවිය” කියලා හඳුන්වන්නේ මරියාව නෙමෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන්ව අත්හැරලා ගිය ඊශ්‍රායෙල්වරුන් නමස්කාර කරපු බොරු දේවතාවියක්ව හඳුන්වන්නයි. (යෙරෙමියා 44:15-19) සමහරවිට ඒ බැබිලෝනිවරුන් නමස්කාර කරපු ඉෂ්ටා (අස්ටාටේ) කියන දේවතාවිය වෙන්න පුළුවන්.

  •   මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් මරියාට නමස්කාර කළේවත් විශේෂ ගෞරවයක් පිදුවේවත් නැහැ. ඉතිහාසඥයෙක් එක පොතක මෙහෙම සඳහන් කළා. “මුල් ක්‍රිස්තියානීන් ආගමික නිකායකට සම්බන්ධ වුණේ නැහැ. මරියාට අනවශ්‍ය ගෞරවයක් දුන්නොත් එයාලත් දේවතාවියකට නමස්කාර කරන නිකායකට අයිතියි කියලා මිනිසුන් හිතයි කියලා එයාලා බය වෙන්න ඇති.”—In Quest of the Jewish Mary.

  •   බයිබලයේ සඳහන් වෙන්නේ දෙවියන් පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැති සදාකාලයෙන් සදාකාලයටම පවතින කෙනෙක් කියලයි. (ගීතාවලිය 90:1, 2; යෙසායා 40:28) පටන්ගැන්මක් නැත්නම් දෙවියන්ට මවක් ඉන්නත් බැහැ. අනික, දෙවියන්ව තමන්ගේ ගර්භාෂයේ දරන්න මරියාට කොහොමටවත් බැහැ. මොකද බයිබලයේ පැහැදිලිව කියන්නේ දෙවියන්ව දරන්න මුළු මහත් විශ්වයම වුණත් ප්‍රමාණවත් නැහැ කියලයි.—1 රාජාවලිය 8:27.

මරියා “දේවමෑණියන්” නෙමෙයි යේසුස්ගේ මෑණියන්

 මරියා දාවිත් රජුගේ පරම්පරාවෙන් එන යුදෙව් ජාතික කාන්තාවක්. (ලූක් 3:23-31) දෙවියන් ගැන මරියාට තිබ්බ විශ්වාසයත් ආදරයත් නිසා දෙවියන් එයාට ගොඩක් ආශීර්වාද කළා. (ලූක් 1:28) යේසුස්ගේ මව වෙන්න දෙවියන් එයාව තෝරගත්තා. (ලූක් 1:31, 35) යේසුස් ඉපදුණාට පස්සේ මරියා එයාගේ සැමියා වුණ යෝසෙප්ට දාව දරුවන් කිහිපදෙනෙක් බිහි කළා.—මාක් 6:3.

 මරියා යේසුස්ගේ ගෝලයෙක් වුණා කියලා බයිබලයේ සඳහන් වුණත් මරියා ගැන ඊට වඩා තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ.—ක්‍රියා 1:14.

a හුඟක් ක්‍රිස්තියානි ආගම්වල උගන්වන්නේ මරියා දෙවියන්ගේ මව කියලා. ඒ අය මරියාව “ස්වර්ග රාජිනිය” කියලත් හඳුන්වනවා. ඒ යෙදුම ඇවිත් තියෙන්නේ “දෙවියන්ව වැදූ” නැත්නම් දේවමෑණියන් කියන තේරුම ඇති තියෝටොකොස් කියන ග්‍රීක වචනයෙන්.