Skip to content

විවිධ ජීවීන්ව නිර්මාණය කරන්න දෙවියන් පරිණාමය යොදාගත්තාද?

විවිධ ජීවීන්ව නිර්මාණය කරන්න දෙවියන් පරිණාමය යොදාගත්තාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 නැහැ. බයිබලයේ පැහැදිලිවම කියන්නේ දෙවියන් මිනිසුන්ව සහ ‘ඒ ඒ වර්ගයට’ අනුව සතුන්ව, ශාක නිර්මාණය කළා කියලයි. a (උත්පත්ති 1:12, 21, 25, 27; එළිදරව් 4:11) මුළු මිනිස් පවුලම පැවතෙන්නේ අපේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒවගෙන් කියලා බයිබලයේ කියනවා. (උත්පත්ති 3:20; 4:1) විවිධ වර්ගයේ ජීවීන්ව බිහි කරන්න දෙවියන් පරිණාමය යොදාගත්තා කියන අදහස බයිබලයට එකඟ නැහැ. ඒත් එකම වර්ගයේ ජීවීන් අතරේ විවිධත්වක් තියෙනවා කියලා විද්‍යාවෙන් කියන දේ බයිබලයට පටහැනි නැහැ.

 දෙවියන් පරිණාමය යොදාගත්තාද?

 ජීවීන්ව නිර්මාණය කරන්න දෙවියන් පරිණාමය යොදාගත්තා කියලා විශ්වාස කරන අයට දෙවියන් ඒක කළේ කොහොමද කියන දේ ගැන විවිධ අදහස් තියෙනවා. එක විශ්වකෝෂයකට අනුව ඒ අයගෙන් සමහරු විශ්වාස කරනවා අවට ලෝකයේ තියෙන දේවල් බිහි කරන්න දෙවියන් ස්වාභාවික වරණය කියන ක්‍රියාවලිය යොදාගන්නවා කියලා.—Encyclopædia Britannica.

 තවත් සමහරුන්ට මේ වගේ අදහස් තියෙනවා:

  •   සියලුම ජීවීන් පැවතෙන්නේ ආදි ජීව විශේෂයකින්.

  •   එක ජීවී වර්ගයකට පුළුවන් සම්පූර්ණයෙන්ම වෙනස් ජීවී වර්ගයක් දක්වා පරිණාමය වෙන්න.

  •   ඒ හැම ක්‍රියාවලියක්ම යොදාගන්නේ දෙවියන්.

 පරිණාමය බයිබලයට එකඟද?

 ජීවීන්ව නිර්මාණය කරන්න දෙවියන් පරිණාමය යොදාගත්තා කියලා විශ්වාස කරන අය අඟවනවා හැම දෙයක්ම නිර්මාණය කරපු විදිහ ගැන උත්පත්ති පොතේ සඳහන් වාර්තාව සීයට සීයක්ම නිවැරදි නැහැ කියලා. ඒත් යේසුස් උත්පත්ති පොතේ වාර්තාව ගැන කතා කළේ ඒක ඇත්තටම සිදු වුණ දෙයක් විදිහට. (උත්පත්ති 1:26, 27; 2:18-24; මතෙව් 19:4-6) යේසුස් පොළොවට එන්න කලින් දෙවියන් එක්ක ස්වර්ගයේ හිටියා කියලත් දෙවියන් “සෑම දෙයක්ම” නිර්මාණය කරද්දී ඔහුව ඒකට හවුල් කරගත්තා කියලත් බයිබලයේ කියනවා. (යොහන් 1:3) ඒ දේවලින් තේරෙනවා විවිධ ජීවීන්ව නිර්මාණය කරන්න දෙවියන් පරිණාමය යොදාගත්තා කියන අදහස බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට එකඟ නැහැ කියලා.

 සතුන්ට සහ ශාකවලට පරිසරයට අනුව හැඩගැහෙන්න පුළුවන් හැකියාව පරිණාමය වීමක් කියලා කියන්න පුළුවන්ද?

 ජීවී වර්ගයක් ඇතුළේ කොයි තරම් විවිධත්වයක් තියෙන්න පුළුවන්ද කියලා බයිබලයේ විස්තර කරලා නැහැ. ඒ වගේම දෙවියන් නිර්මාණය කරපු විවිධ වර්ගයේ සතුන් සහ ශාක තම වර්ගයා බෝ කරද්දී හෝ පරිසරයට අනුව හැඩගැහෙද්දී සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන් කියන දේ බයිබලයට පටහැනි නැහැ. සමහරු ඒ වෙනස්කම් පරිණාමයක් විදිහට හැඳින්නුවත් ඒ වගේ අවස්ථාවලදී අලුත් ජීවී වර්ගයක් බිහි වෙන්නේ නැහැ.

a විද්‍යාවේ ජීවී “විශේෂයක්” කියලා යොමු දක්වන දේට වඩා පුළුල් අදහසක් බයිබලයේ “වර්ගයක්” කියලා විස්තර කරන යෙදුමට තියෙනවා. සමහර වෙලාවට විද්‍යාඥයන් කියනවා අලුත් ජීවී වර්ගයක් පරිණාමය වෙලා කියලා. ඒත් ඒක ඇත්තටම ජීවීන් වර්ගයක් තුළ දකින්න තියෙන විවිධත්වයක්. උත්පත්ති වාර්තාවේ විස්තර කරලා තියෙන්නෙත් ඒ දේමයි.