Skip to content

ගිවිසුම් පෙට්ටිය කියන්නේ මොකක්ද?

ගිවිසුම් පෙට්ටිය කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ගිවිසුම් පෙට්ටිය කියන්නේ ඊශ්‍රායෙල්වරු පරිශුද්ධ දෙයක් විදිහට සලකපු ලීවලින් හදලා තිබුණු පෙට්ටියක්. ඒක හැදුවේ දෙවියන් කියපු සැලැස්මකට අනුවයි. “සාක්ෂියක් ලෙස” දෙවියන් ඊශ්‍රායෙල් ජාතියට දීපු දසපනත ලියලා තිබුණු ගල් පුවරු දෙක තිබුණේ ඒ පෙට්ටිය ඇතුළෙයි.—නික්මයාම 25:8-10, 16; 31:18.

  •   හදපු විදිහ. ගිවිසුම් පෙට්ටියේ දිග රියන් දෙකහමාරයි. ඒකේ පළල සහ උස රියන් එකහමාරයි. (සෙ.මී. 111 x 67 x 67; අඟල් 44 x 26 x 26) ෂිටිම් ලීවලින් හදලා තිබුණු ගිවිසුම් පෙට්ටියේ පිට පැත්තට සහ අතුල් පැත්තට පවිත්‍ර රන් ආලේප කරලා තිබුණා. උඩ දාරයට යටින් පෙට්ටිය වටේට රන් ලියවැලකුත් හදලා තිබුණා. ගිවිසුම් පෙට්ටියේ පියන හදලා තිබුණේ පවිත්‍ර රන්වලින්. පියනේ කෙළවරවල් දෙකේ කෙරුබ්වරුන් දෙන්නෙක්ව හදලා තිබුණා. ඒ දෙන්නාව හදලා තිබුණේ පියාපත් ඉහළට ඔසවගෙන හිස් පහත් කරගෙන මුහුණට මුහුණ ලා ඉන්න විදිහටයි. ගිවිසුම් පෙට්ටියේ කකුල් හතරට ටිකක් උඩින් රන් වළලු හතරක් හදලා ෂිටිම් ලීවලින් හදපු රන් ආලේප කරපු පොලු දෙකක් ඒ වළලු ඇතුළෙන් දාලා තිබුණු නිසා ඒක උස්සගෙන යන්න පහසු වුණා.—නික්මයාම 25:10-21; 37:6-9.

  •   තිබුණු තැන. ගිවිසුම් පෙට්ටිය මුලින්ම තිබ්බේ ශුද්ධ කූඩාරමේ අතිශුද්ධස්ථානය විදිහට හඳුන්වපු කොටසෙයි. ශුද්ධ කූඩාරම කියන්නේ කොටස්වලට ගලවලා එහා මෙහා ගෙනියන්න පුළුවන් විදිහට හදලා තිබුණු කූඩාරමක්. ඒක හැදුවෙත් ගිවිසුම් පෙට්ටිය හදපු කාලයේමයි. අතිශුද්ධස්ථානය පූජකයන්ට සහ සාමාන්‍ය අයට පෙනෙන්නේ නැති වෙන්න තිර රෙද්දකින් වෙන් කරලා තිබුණා. (නික්මයාම 40:3, 21) අතිශුද්ධස්ථානයට යන්න පුළුවන් වුණේ උත්තම පූජකයාට විතරයි. ඒකත් අවුරුද්දට එක පාරක් සමඟි වීමේ දවසේදීයි. එදාට විතරයි උත්තම පූජකයාට ගිවිසුම් පෙට්ටිය දකින්න ලැබුණේ. (ලෙවී කතාව 16:2; හෙබ්‍රෙව් 9:7) කාලයකට පස්සේ සලමොන් දේවමාලිගාව හැදුවාම ගිවිසුම් පෙට්ටිය තැබුවේ ඒ මාලිගාවේ අතිශුද්ධස්ථානයේයි.—1 රාජාවලිය 6:14, 19.

  •   හදපු හේතුව. පරිශුද්ධයි කියලා සලකපු සමහර දේවල් තියලා තිබුණේ ගිවිසුම් පෙට්ටියේයි. ගිවිසුම් පෙට්ටිය ඇතුළේ තිබුණු ඒ පරිශුද්ධ දේවල්වලින් ඊශ්‍රායෙල්වරුන්ට මතක් කළේ දෙවියන් සීනයි කන්දේදී ඒ අය එක්ක ඇති කරගෙන තිබුණු ගිවිසුමයි. සමඟි වීමේ දවසේදී පවත්වපු සමහර වත්පිළිවෙත්වලටත් ගිවිසුම් පෙට්ටිය වැදගත් වුණා.—ලෙවී කතාව 16:3, 13-17.

  •   තිබුණු දේවල්. ගිවිසුම් පෙට්ටිය ඇතුළේ මුලින්ම දාලා තිබුණේ පනත් දහය ලියලා තිබුණු ගල් පුවරු දෙකයි. (නික්මයාම 40:20) පස්සේ මන්නා දාලා තිබුණු රන් භාජනයත් “දලු හටගත් ආරොන්ගේ සැරයටියත්” ගිවිසුම් පෙට්ටිය ඇතුළේ තිබුණා. (හෙබ්‍රෙව් 9:4; නික්මයාම 16:33, 34; ගණන් කතාව 17:10) ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට ගෙනියද්දී රන් භාජනය සහ සැරයටිය ඒක ඇතුළේ තිබුණේ නැහැ. පේන විදිහට යම් කාලයකදී ඒ දෙක ගිවිසුම් පෙට්ටියෙන් අයින් කරලා තියෙනවා.—1 රාජාවලිය 8:9.

  •   අරන් ගිය විදිහ. ගිවිසුම් පෙට්ටිය කරේ තියාගෙන උස්සගෙන යන වගකීම තිබුණේ ලෙවීවරුන්ටයි. (ගණන් කතාව 7:9; 1 ලේකම් 15:15) ෂිටිම් ලීවලින් හදලා තිබුණු රන් ආලේප කරපු පොලු දෙක නිතරම ගිවිසුම් පෙට්ටියට සම්බන්ධ කරලා තිබුණු නිසා ගිවිසුම් පෙට්ටිය අල්ලන්නේ නැතුව ඒක කරේ තියාගෙන අරන් යන්න ලෙවීවරුන්ට පුළුවන් වුණා. (නික්මයාම 25:12-16) ඒක අරන් යද්දී, ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය වෙන් කරපු ‘තිර රෙද්දෙන්’ ගිවිසුම් පෙට්ටිය වැහුවා.—ගණන් කතාව 4:5, 6. a

  •   අදහස් වුණු දේ. ගිවිසුම් පෙට්ටිය තියෙද්දී ඒකෙන් අදහස් වුණේ යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන් අතරේ ඉන්නවා කියන එකයි. උදාහරණයකට අතිශුද්ධස්ථානයේ ගිවිසුම් පෙට්ටියට උඩින් වලාකුළ තියෙද්දී යෙහෝවා දෙවියන් පෙනී ඉන්නවා කියලත් දෙවියන්ගේ ආශීර්වාදය තමන්ට තියෙනවා කියලත් ඊශ්‍රායෙල්වරුන් දැනගෙන හිටියා. (ලෙවී කතාව 16:2; ගණන් කතාව 10:33-36) ගිවිසුම් පෙට්ටියේ පියන උඩ හිටපු කෙරුබ්වරුන් පිට යෙහෝවා දෙවියන් හිඳගෙන ඉන්නවා කියලා බයිබලයේ සඳහන් දෙයිනුත් ඒ කාරණය තවත් පැහැදිලි වෙනවා. (1 සාමුවෙල් 4:4; ගීතාවලිය 80:1) ඒ කෙරුබ්වරුන් දෙන්නාගෙන් “දෙවිගේ ස්වර්ගීය රථය නියෝජනය” වුණා. (1 ලේකම් 28:18) ගිවිසුම් පෙට්ටිය තියෙන එකෙන් යෙහෝවා දෙවියන් තමන් අතරේ ඉන්නවා කියන එක අදහස් වුණු නිසා තමයි ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනාවාම යෙහෝවා දෙවියන් ‘සියොන්හි වාසය කරනවා’ කියලා දාවිත් රජු කිව්වේ.—ගීතාවලිය 9:11.

  •   හඳුන්වපු තවත් නම්. බයිබලයේ ගිවිසුම් පෙට්ටිය වෙනත් නම්වලිනුත් හඳුන්වලා තියෙනවා. “යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය” සහ “තේජවත් ගිවිසුම් පෙට්ටිය” ඒ අතරින් දෙකක්.—යොෂුවා 3:6, 13; 2 ලේකම් 6:41; ගණන් කතාව 7:89.

     ගිවිසුම් පෙට්ටියේ පියන ‘පව්වලට සමාව ලබාගන්නා ස්ථානයේ පිහිටි පෙට්ටියේ පියන’ විදිහට හැඳින්නුවා. (හෙබ්‍රෙව් 9:5) මොකද හැම අවුරුද්දේම සමඟ වීමේ දවසේදී උත්තම පූජකයා පූජා කරපු සතුන්ගේ ලේ අතිශුද්ධස්ථානයේ තිබුණු ගිවිසුම් පෙට්ටියේ ආවරණය ඉදිරියේ ඉස්සා. එයා ඒක කරපු නිසා ‘තමන්ගේ සහ තම ගෙයි වැසියන්ගේ පාපවලටත් මුළු ඊශ්‍රායෙල් සෙනඟගේ පාපවලටත් සමාව ලබාගන්න’ පුළුවන් වුණා.—ලෙවී කතාව 16:14-17.

ගිවිසුම් පෙට්ටිය තාම තියෙනවාද?

 ඒක තියෙනවා කියන්න මේ වෙනකොට කිසිම සාක්ෂියක් නැහැ. යෙහෝවා දෙවියන් යේසුස්ගේ ජීවිත පූජාව පදනමක් විදිහට යොදාගෙන “අලුත් ගිවිසුමක්” ඇති කරගත්ත නිසා ඊශ්‍රායෙල්වරුන් එක්ක මුලින් ඇති කරගත්ත ගිවිසුම අවලංගු වුණා. ඒ නිසා ඒ ගිවිසුම ගැන මතක් කරන්න තවදුරටත් ගිවිසුම් පෙට්ටියක් අවශ්‍ය වුණේ නැහැ. (යෙරෙමියා 31:31-33; හෙබ්‍රෙව් 8:13; 12:24) ගිවිසුම් පෙට්ටිය නැති වුණත් ඒ අඩුව දෙවිගේ සෙනඟට නොදැනෙන කාලයක් එනවා කියලා බයිබලයේ කලින්ම කියලා තිබුණා.—යෙරෙමියා 3:16.

 අලුත් ගිවිසුම පිහිටුවලා යම් කාලයක් ගියාට පස්සේ නියෝජිත යොහන් දර්ශනයකින් ගිවිසුම් පෙට්ටිය ස්වර්ගයේ තියෙනවා දැක්කා. (එළිදරව් 11:15, 19) ඒ ගිවිසුම් පෙට්ටිය සංකේතයක් විතරයි. ඒකෙන් අදහස් වුණේ යෙහෝවා දෙවිගේ අනුමැතිය සහ ආශීර්වාදය අලුත් ගිවිසුමට තියෙනවා කියන එකයි.

ගිවිසුම් පෙට්ටියට අමුතුම විදිහේ බලයක් තිබුණාද?

 නැහැ. ගිවිසුම් පෙට්ටිය ළඟ තිබුණා කියලා ඊශ්‍රායෙල්වරුන් නිතරම සාර්ථක වුණේ නැහැ. උදාහරණයකට ඊශ්‍රායෙල්වරුන් ආයි නගරයට විරුද්ධව සටන් කරද්දී ගිවිසුම් පෙට්ටිය ඒ අය ළඟ තිබුණා. ඒත් එක ඊශ්‍රායෙල් ජාතිකයෙක් කරපු වැරදි දෙයක් නිසා එයාලා පැරදුණා. (යොෂුවා 7:1-6) තව අවස්ථාවක ඊශ්‍රායෙල්වරු ගිවිසුම් පෙට්ටියත් අරගෙන සටන්බිමට ගිහින් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කළත් පරාජය වුණා. ඒක වුණේ ඊශ්‍රායෙල්වරුන් අතරේ හිටපු හොප්නී සහ පිනෙහාස් කියන පූජකයන් දෙන්නා කරපු දුෂ්ට වැඩ නිසයි. (1 සාමුවෙල් 2:12; 4:1-11) ඒ සටනේදී පිලිස්තිවරු ගිවිසුම් පෙට්ටිය පැහැරගත්තා. හැබැයි ගිවිසුම් පෙට්ටිය ආපහු ඊශ්‍රායෙල්වරුන්ට දෙන කල් යෙහෝවා දෙවි පිලිස්තිවරුන්ට දරුණු රෝගවලින් පහර දුන්නා.—1 සාමුවෙල් 5:11–6:5.

ගිවිසුම් පෙට්ටියේ ඉතිහාසය

අවුරුද්ද (ක්‍රි.පූ.)

සිද්ධිය

1513

බෙසලෙල් සහ එයාට සහයෝගය දීපු අය, ඊශ්‍රායෙල්වරු පරිත්‍යාග කරපු දේවල් පාවිච්චි කරලා ගිවිසුම් පෙට්ටිය හැදුවා.—නික්මයාම 25:1, 2; 37:1.

1512

ගිවිසුම් පෙට්ටිය, ශුද්ධ කූඩාරම සහ ඒකේ සේවය කරන පූජකයන්ව දෙවිගේ නමස්කාරය වෙනුවෙන් මෝසෙස් කැප කළා.—නික්මයාම 40:1-3, 9, 20, 21.

1512—1070න් පසුව

ගිවිසුම් පෙට්ටිය තැනින් තැනට අරන් ගියා.—යොෂුවා 18:1; විනිශ්චයකරුවෝ 20:26, 27; 1 සාමුවෙල් 1:24; 3:3; 6:11-14; 7:1, 2.

1070න් පසුව

දාවිත් රජ ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට අරන් ආවා.—2 සාමුවෙල් 6:12.

1026

ගිවිසුම් පෙට්ටිය යෙරුසලමේ තිබුණු සලමොන්ගේ දේවමාලිගාවට අරන් ගියා.—1 රාජාවලිය 8:1, 6.

642

යොෂියා රජ ආපහු ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට ගෙනාවා.—2 ලේකම් 35:3. b

607ට කලින්

පෙනෙන විදිහට ඒ වෙනකොට ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවේ තිබිලා නැහැ. එහෙම කියන්නේ 607දී බැබිලෝනිවරුන් යෙරුසලමේ දේවමාලිගාව විනාශ කරලා අරන් ගිය භාණ්ඩ ගැන සඳහන් වෙන විස්තරයෙත් නිදහස් වෙලා එද්දී ඊශ්‍රායෙල්වරුන්ට භාර දීපු භාණ්ඩ ගැන සඳහන් විස්තරයෙත් ගිවිසුම් පෙට්ටිය ගැන සඳහනක් නැති නිසයි.—2 රාජාවලිය 25:13-17; එස්රා 1:7-11.

63

යෙරුසලම යටත් කරගත්තාට පස්සේ අතිශුද්ධස්ථානයේ ගිවිසුම් පෙට්ටිය තිබුණේ නැහැ කියලා රෝම සෙන්පතියෙක් වුණු පොම්පේ සඳහන් කරලා තියෙනවා. c

a යෙහෝවා දෙවියන් දීපු මඟ පෙන්වීම්වලට අනුව ඊශ්‍රායෙල්වරු ගිවිසුම් පෙට්ටිය ආවරණය කරලා, නිවැරදි ක්‍රමයට අනුව ඒක අරන් ගියේ නැති අවස්ථාවල ඒ අයට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.—1 සාමුවෙල් 6:19; 2 සාමුවෙල් 6:2-7.

b ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවෙන් ඉවත් කළේ කවදාද, ඒක කළේ කවුද, එහෙම කළේ ඇයි කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.

c ටැසිටස් රචනා කරලා තියෙන The Histories කියන 5වෙනි පොතේ 9වන ඡේදය බලන්න.