Skip to content

කෙනෙක් මැරෙද්දී අමරණීය දෙයක් සිරුරෙන් පිට වෙනවාද?

කෙනෙක් මැරෙද්දී අමරණීය දෙයක් සිරුරෙන් පිට වෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලේ මිනිසුන්ව සහ සතුන්ව හඳුන්වන්න හෙබ්‍රෙව් භාෂාවෙන් “නෙෆෙෂ්” කියන වචනයත් ග්‍රීක භාෂාවෙන් “සීකී” කියන වචනයත් පාවිච්චි කරලා තියෙනවා. “නෙෆෙෂ්” කියන හෙබ්‍රෙව් වචනයේ මූලික අදහස තමයි “හුස්ම ගන්න ජීවියෙක්” කියන එක. “සීකී” කියන ග්‍රීක වචනයෙන් මූලිකවම අදහස් වෙන්නේ “පණ තියෙන කෙනෙක්ව.” එහෙම බලද්දී ඒ වචන දෙකෙන්ම අදහස් වෙන්නේ ජීවත් වෙන පුද්ගලයෙක්ව. කෙනෙක් මැරෙද්දී එයාගේ ශරීරයෙන් පිට වෙන අමරණීය දෙයක් තියෙනවා කියන අදහස ඒ වචනවල ගෑවිලාවත් නැහැ. ඒක පැහැදිලි කරගන්න බයිබලේ තියෙන තොරතුරු ටිකක් දැන් අපි බලමු.

දෙවියන් ආදම්ගේ ශරීරයට අමරණීය දෙයක් ඇතුල් කළේ නැහැ

  •   දෙවියන් මුල්ම මිනිසා වුණ ආදම්ව නිර්මාණය කළාම “මිනිසා ජීවමාන පුද්ගලයෙක්” වුණා කියලා බයිබලේ කියනවා. (උත්පත්ති 2:7) ඒ අදහසම ‘පැරණි අනුවාදයේ’ සඳහන් වෙන්නේ “මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය” කියලයි. දෙවියන් ආදම්ගේ ශරීරයට නොමැරී පවතින දෙයක් ඇතුල් කළා කියලා ඒ පදයේවත් බයිබලේ වෙන කිසිම තැනකවත් සඳහන් වෙන්නේ නැහැ.

  •   බයිබලේ කියනවා ජීවමාන පුද්ගලයෙක්ට වැඩ කරන්න, කෑම කන්න, නීතිවලට කීකරු වෙන්න, මළ සිරුරක් අල්ලන්න වගේ දේවල් කරන්න පුළුවන් කියලා. (ලෙවී කතාව 5:2; 7:20; 23:30; ද්විතීය කතාව 12:20; රෝම 13:1) ඒ කිසිම දෙයක් මැරුණු කෙනෙක්ට කරන්න බැහැ.

අපේ ශරීරයේ නොමැරී පවතින දෙයක් තියෙනවාද?

 නැහැ. බයිබලේ පැහැදිලිවම කියන්නේ මිනිස්සු ඇතුළු හැම ජීවියෙක්ම මැරෙනවා කියලා. මේ උදාහරණ බලන්න.

  •   “පව්කරන ප්‍රාණයම නසින්නේය.”—එසකියෙල් 18:4, 20, ‘පැරණි අනුවාදය.’

  •   අතීතයේ ඊශ්‍රායෙල් දේශයේ හිටපු වරදකරුවන්ට දුන්න ලොකුම දඬුවම තමයි මරණ දඬුවම. බයිබලේ කියන්නේ බරපතළ වරදක් කරපු ‘කවරෙක් (“නෙෆෙෂ්”) නුමුත් සිඳදමනු ලබන්නේය’ කියලා. (නික්මයාම 12:15, 19; ලෙවී කතාව 7:20, 21, 27; 19:8, ‘පැරණි අනුවාදය’) ඒ අදහසම බයිබලේ තවත් තැනක තියෙන්නේ මෙහෙමයි. ‘කවරෙක් (“නෙෆෙෂ්”) නුමුත් සැබවින්ම මරනු ලබන්නේය.’—නික්මයාම 31:14, ‘පැරණි අනුවාදය.’

  •   මැරුණු කෙනෙක්ගේ ශරීරය ගැන කියද්දී සමහර බයිබල් පරිවර්තනවල “මළකඳක්,” “මෘත ශරීරයක්” වගේ යෙදුම් පාවිච්චි කරලා තියෙනවා. (ලෙවී කතාව 21:11; ගණන් කතාව 6:6) හුඟක් බයිබල් පරිවර්තනවල ඒ අදහස පරිවර්තනය කරලා තියෙන්නේ “මළ සිරුරක්” විදිහට. ඒකේ වරදක් නැහැ. මොකද මුල් හෙබ්‍රෙව් භාෂාවේ ඒ තැන්වල ‘මිය ගියා’ කියන අදහසට “නෙෆෙෂ්” කියන වචනයත් සම්බන්ධ කරලා තියෙනවා. මොකක්ද ඒකෙන් පැහැදිලි වෙන්නේ? “නෙෆෙෂ්” කියන වචනය ජීවතුන් අතරේ ඉන්න කෙනෙක්ව විතරක් නෙමෙයි මළ සිරුරක් ගැන විස්තර කරන්න වුණත් පාවිච්චි කරලා තියෙනවා.

“ජීවිතය” කියන අදහසත් ඇතුළත් වෙනවා

 “නෙෆෙෂ්” කියන වචනය “ජීවිතය” කියන අදහස දෙන්නත් පාවිච්චි කරලා තියෙනවා. උදාහරණෙකට යෝබ් 33:22 “ජීවිතය” කියලා පරිවර්තනය කරලා තියෙන්නෙත් “නෙෆෙෂ්” කියන හෙබ්‍රෙව් වචනයමයි. කෙනෙක්ගේ ජීවිතේ අනතුරේ වැටෙන්න හරි ජීවිතේ නැති වෙන්න හරි පුළුවන් අවස්ථා ගැන කතා කරද්දිත් බයිබලේ “නෙෆෙෂ්” සහ “සීකී” කියන වචන පාවිච්චි කරලා තියෙනවා.—නික්මයාම 4:19; විනිශ්චයකරුවෝ 9:17; ෆිලිප්පි 2:30.

 “නෙෆෙෂ්” කියන වචනයෙන් අදහස් කරන දේ පැහැදිලිව තේරුම්ගන්න එක හරිම වැදගත්. මොකද සමහර බයිබල් පදවල තියෙන අදහස හරියටම තේරුම්ගන්න ඒක උදව් වෙනවා. උදාහරණෙකට උත්පත්ති 35:18 (‘පැරණි අනුවාදය’) ‘ඇගේ ප්‍රාණය (“නෙෆෙෂ්”) යන කල්හි’ කියලා සඳහන් වෙනවා. එතන විස්තර කරලා තියෙන්නේ රාකෙල්ගේ ජීවිතේ අවසන් මොහොත ගැන. තවත් බයිබල් පරිවර්තනවල ඒ අදහස නිවැරදිව සහ පැහැදිලිව පරිවර්තනය කරලා තියෙන්නේ “ඇය අවසන් හුස්ම හෙළන්න පෙර” කියලා. (Good News Translation; New Jerusalem Bible.) අපි බලපු තොරතුරුවලින් පැහැදිලි වෙනවා “නෙෆෙෂ්” කියන වචනෙන් අදහස් වෙන්නේ ජීවිතය මිසක් නොමැරී පවතින අමරණීය දෙයක් නෙවෙයි කියලා.

අමරණීය ආත්මය කියන ඉගැන්වීම ආවේ කොහෙන්ද?

 ඒ ඉගැන්වීම ඇවිත් තියෙන්නේ ග්‍රීක දර්ශනවාදී අදහස්වලින්. ඒක බයිබලේට එකඟ නැහැ. එක විශ්වකෝෂයක මෙහෙම කියනවා. “ජීවමාන පුද්ගලයෙක් කියන්නේ හුස්ම ගන්න කෙනෙක්ට මිසක් කෙනෙක් මිය යද්දී ඒ කෙනාගේ සිරුරෙන් පිට වෙලා යන අමරණීය දෙයක් කියලා බයිබලයේ කොතැනකවත් උගන්නලා නැහැ. එහෙම ඉගැන්වීමක් ක්‍රිස්තියානි ආගම්වලට ඇතුල් වුණේ පුරාණ ග්‍රීකවරුන්ගෙන්.”—Encyclopædia Britannica.

 බයිබලේ මෙහෙම අනතුරු අඟවලා තියෙනවා. “ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට යම් කෙනෙක් දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන්.” (කොලොස්සි 2:8) ඒකෙන් පැහැදිලියි යෙහෝවා දෙවියන් උගන්නලා තියෙන සත්‍ය ඉගැන්වීම්වලට අමරණීය ආත්මය වගේ දර්ශනවාදී අදහස් එකතු කරනවාට ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා.