Skip to content

2023 නොවැම්බර් 4වෙනිදා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ තිබුණ විශේෂ රැස්වීමේදී සහෝදරයන් එකිනෙකාව පිළිගන්නවා

2023 නොවැම්බර් 17
ඉන්දියාව

ඉන්දියාවේ පිපිරීමෙන් වුණ මරණ ගණන 6 දක්වා ඉහළට

ඉන්දියාවේ පිපිරීමෙන් වුණ මරණ ගණන 6 දක්වා ඉහළට

2023 ඔක්තෝබර් 29වෙනි ඉරිදා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පවත්වපු තුන්දින සමුළුවකදී බෝම්බ පිපිරීම් කීපයක් වුණා. ඒ පිපිරීමෙන් මැරුණ තුන්දෙනාට අමතරව තවත් තුන්දෙනෙක් මිය ගියා කියලා කියන්න අපිට හරිම කණගාටුයි. ඒ අයට එක සහෝදරයෙක් සහ සහෝදරියන් දෙන්නෙක් ඇතුළත්. කලින් මැරුණ අවුරුදු දොළහේ දැරියගේ අම්මා සහ සහෝදරයාත් ඒ අය අතරේ ඉන්නවා. ඊට අමතරව තවත් සහෝදර සහෝදරියන් 11දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ගන්නවා.

මේ ප්‍රහාරයට මුහුණ දීපු සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්නත් සනසන්නත් ඉන්දියාවේ ශාඛා කාර්යාලයෙන් විශේෂ රැස්වීමක් සංවිධානය කළා. ඒක තිබුණේ 2023 නොවැම්බර් 4වෙනිදා. ඒකට පිපිරීම සිදු වුණ සමුළුවට සහභාගි වුණ සභා 21 සහෝදර සහෝදරියන්ට ආරාධනා කරලා තිබුණා. මේ විශේෂ රැස්වීම පැවැත්තුවේ ඒ ප්‍රදේශයේ තිබුණ නමස්කාර මධ්‍යස්ථානයක. ඒකට 200ක් විතර ආවා. තවත් 1,300ක් විතර වීඩියෝ කොන්ෆරන්සින් හරහා සම්බන්ධ වුණා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයටත් පටිගත කරපු ඒ වැඩසටහන බලන්න අවස්ථාව ලැබුණා. ශාඛා කාර්යාලයේ ඉන්න සහෝදරයෙක් ගීතාවලිය 23:1 ගැන ඒ රැස්වීමේදී මේ විදිහට සාකච්ඡා කළා. “මේ පදයේ ගීතිකාකරු, යෙහෝවාව හඳුන්වන්නේ නිකම්ම එඬේරෙක් විදිහටවත් අතිවිශිෂ්ඨ එඬේරෙක් විදිහටවත් නෙමෙයි. ඒ වෙනුවට ‘මාගේ එඬේරා’ කියලයි. යෙහෝවා අපි එක් එක් කෙනා ගැන කොච්චර නම් සැලකිලිමත්ද කියලා ඒකෙන් පේනවා. ඒක දැනගෙන ඉන්න එක කොච්චර නම් සහනයක්ද!”

සහෝදරියන් ආදරෙන් එකිනෙකාව සනසනවා

පිපිරීම වුණ දවසේ එතන හිටපු සහෝදරයෙක්ට තාමත් හරියට නිදාගන්න බැහැ. ඒ වුණත් එයා ඉස්පිරිතාලේ ඉන්න සහෝදරයන්ට උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. “ඉස්පිරිතාලේ ඉන්න අයට තියෙන විශ්වාසය, එයාලා හිතන විදිහ දැක්කාම මට මගේ ප්‍රශ්න අමතක වෙලා යනවා. එයාලා ලොකු වේදනාවකින් හිටියත් එයාලාගෙන් හුඟදෙනෙක් සතුටින් ගීතිකා කියනවා” කියලා ඒ සහෝදරයා කියනවා. තව සහෝදරයෙක් මෙහෙම කිව්වා. “ප්‍රතිකාර ගන්න මේ සහෝදරයන්ගෙන් සමහර අයට සනීප වෙලා එයාලාගේ එදිනෙදා වැඩකටයුතු පටන්ගන්න තව සෑහෙන කාලයක් යයි. ඒ වෙන කල් අපේ සහෝදරයෝ එයාලව ආදරෙන් බලාගනියි කියලා මට විශ්වාසයි. අපි ගැන සැලකිලිමත් අපේ දෙවියන් ඔහුගේ බලවත් අතින් විපතට පත් වුණ හැම කෙනෙක්ගෙම අත් තදින් අල්ලගෙන ඉඳියි කියලත් මට ස්ථිරයි. ඒක දැනගෙන ඉන්න එක ලොකු හයියක්.”

ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවියන්ගේ සේවකයන් හරියට එක පවුලක් වගෙයි. අපේ දෙවි යෙහෝවා ඉන්දියාවේ ඉන්න ‘බිඳුණු හිතක් තියෙන’ අපේ සහෝදරයන්ට ‘සහනය දෙනවා, එයාලාගේ වේදනාකාරී තුවාල සුව කරනවා’ කියලා දැනගෙන ඉන්න එක අපිට ලොකු සහනයක්.—ගීතාවලිය 147:3.